ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, April 29, 2016

ආච්චිගෙ සෙද්ද හෙවත් සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016

Photo courtesy - http://tech.firstpost.com/news-analysis/look-no-hands-augmented-reality-gets-a-grip-29341.html

 
සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016 සයිබර් බක්මහ උළෙල 2016 වැල්ලවත්ත ග්‍රවුන්ඩ් එකේ තියෙනවනෙ. 

ඕන් හෙට ඒ කියන්නෙ සෙනසුරාදා උදෙන්ම එතනට එයි එන කට්ටිය..එන්න බැරි කට්ටිය බුකියෙන් බලයි අප්ඩේට්ස් වෙන ඒවා. බුකිය පෙම් බැන්දට ඒකට නොයන අයට ඔන්න බ්ලොග් අප්ඩේට් එකක් දෙන්ඩයි යන්නෙ මම හෙට...

පැයකට සැරයක්වත් ෆොටෝ අප්ඩේට් එකක් දෙන්නම් මේ බ්ලොග් එක හරහා.


මේකම බත්තරමුල්ල තිබ්බ අවුරුදු උත්සවයේ මම කලා..
හොඳ ප්‍රතිචාරත් තිබ්බා.


පස්සෙන් පහු ඇනෝලා කීප දෙනෙක් කියන්ඩ ගත්තා..ෆොටෝ කෑලි 2-3ක් එල්ලලා හිට් ගන්ඩ දඟලනවා කියලා උන්ගෙ ආච්චිගෙ රෙද්ද තමයි.කවුද බන් තම්බලා කන්ඩ වත් බැරි හිට්ස් ගැන හිතන්නෙ..නාස්පොල්ලෙ මට්ටමෙන් හිට් නොම්බරේ එල්ලලා තිබ්බත්...  උන් උන්ගෙ නියම නම් වලින් ලියන බ්ලොග් වලින් ඒක වෙන්ඩ ඇති අරමුණ වෙලා තියෙන්නෙ. ඒකනෙ අනුන් කරන්නෙත් තමුන් කරන පට්ට පජාත වැඩමයි කියලා හිතා ගෙන කියොවන්නෙ...


එහෙම ඇනෝලා කිව්ව හින්දා මම ෆොටෝ කෑලි වලින් සයිබර් අවුරුදු උත්සවේ අප්ඩේට් කරන එක නවත්තන්නෙ නෑ..


එන්ඩ අවුරුදු උත්සවේ බ්ලොග් එකෙන් බලන්න හෙට උදේ ඉඳලම...

 

Thursday, April 14, 2016

ජීවිතය හා ක්ෂිතිජ ඉම.. Life without Borders

මෙය මීට පෙර වියන ලද සැඳෑ සමයද ?  යන නිර්මාණය හා ඊට පසුව ලියන ලද මැදියමට ආසන්නව ජීවිත යථාර්ථය යන වියමන් හා සබැඳේ..

--------------------------------------------------------------------------





මල්ලි ! මදන විසේ ඔළුවට ගහලා ළමයි දෙන්නවත් මරා ගෙන මල්ලිව දාලා ගිය ඕකි ආපහු මේ ගෙදරට අර ගත්තොත් එහෙම මල්ලිට අපිව නම් නෑ යි කියලා හිතා ගන්ඩ ඕන් !
මෙච්චර කල් අපි මල්ලිව බලා ගත්තෙ නැද්ද එහෙනම් ?


අක්කාගේ ගෝරනාඩුව මෙලෙස මගේ සවනත වැටුණේ පළමුවන වරට නොවන බව නම් නිසැකය.


මල්ලිට කොයි තරම් නම් කිව්වද මේ ගෙදර තනියම ඉන්ඩ එපා..එක්කො අපේ ගෙදර එන්ඩ නැතිනම් ලොකු පුතාව එවන්ඩද මල්ලිගෙ තනියටත් එක්ක. ඌත් දැන් ගෙදරටම වෙලා ඉන්නෙ ජොබ් එකක් හොයා ගන්නවත් කිසි උනන්දුවක් නෑ. මේ ගෙවල් දොරවල්වත් බලා ගෙන ඉන්නෙ නැතෑ..


සමන්, අක්කගෙ ලොකු පුතා, .පාසැල් ඉගෙනීම කඩා කප්පල් කරගෙන ගෙදරටම වෙලා ඉන්න හාදයා..කි වාරයක් නම් ඔය පුත්තු තුන් දෙනාගෙන් එක්කෙනෙක් මේ ගෙදරට එවන්ඩ දත කෑවද ?


මම සමන්ට ලයිසන් ගන්නත් කිව්වා.. මල්ලිගෙ ඔය වැඩකට ගන්නෙ නැති කාරෙකවත් හයර් කරලා කීයක් හරි හොයා ගනීනෙ කියලා..


ගොනා හැරෙන්නේ පොල්පැලේට බව මට වැටහී බොහෝ කල්ය.


ලොකු නගාගේ වදන් මගේ සැකය තවත් තහවුරු කලේය




අයියාගෙ පවුල කඩන්ඩ ගොඩක් දේවල් කළේ අක්කා කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ ඉතින් අයියට අයිති වෙලා තියෙන බූදලේට අයිතිය කියන්ඩ ලේසියිනෙ..අක්කව හරි ඒ අයගෙ පවුලෙ අයව හරි නම් ළඟට ගන්ඩෙපා අයියෙ. අයියට අපි ඉන්නවනෙ. මම අපේ මහත්තයට කියන්නම් මල්ලි ඔෆිස් එකෙන් රට යන වෙලාවට මේ ගෙවල් දොරවල් බලා ගන්ඩයි කියලා..අර සමන්ව එහෙම ගෙට වද්දගන්න එපා අයියෙ..සේරම කාබාසිනියා කරලා යන්ඩ යයි


හ්ම්ම්...


මම ගොලුවත රැක්කේ මුවින් පිටවන වදනකින් වන හානියට වඩා එය බොහෝ අඩු බැවිනි..


දික්කසාදයෙන් පසුව බිරිඳ උන්නාද මළාද හෝ ඔවුන්ගේ පවුලේ අය පිළිබඳවද කිසිම විස්තරයක් නොසෙවූවද, ඇයගේ බාල මල්ලිට කාලයෙන් කාලයට මා හට දුරකථන ඇමතුමක් දී සැප දුක් සෙවීමේ පුරුද්දක් තිබුණි. ඒ ඔහුට විදේශ ශිෂ්‍යත්වයක් ගැනීමට උදව් කර ඉදිරි ඉගෙනීමේ කටයුතු සියල්ලම සඳහා මාගෙන් ලද සහය ඔහුගේ මනසේ නිති රැඳීම නිසා වෙනි.


ඔහු මගේ සැපදුක් සෙවූවද, ඔහු, ඔහුගේ සොයුරියගේ විස්තර කිසි දිනක මා සමඟ නොකීවා මෙන්ම මා ඔහුට මුල් කාලයේදීම එසේ නොකරන ලෙසද එලෙස ඔවුන්ගේ විස්තර කියන්නේ නම් කිසි දිනක මා හට ඇමතුම් ලබා නොදෙන මෙන්ද මා දැඩිවම ඉල්ලා සිටීමද නිසා මා එම පවුල උන්නාද මළාද කියාවත් දන්නේ නැත..


අයියෙ, මගෙන් අහන්ඩ එපාය කිව්ව හින්දා මම මුකුත් කිව්වෙ නෑ. පෑරිච්ච අයියගෙ හිත ආයි පාරවන්ඩ ඕනි නැති නිසා. ගොඩක් දේවල් සිද්ධ උණා. අයියෙ..මම ලන්කාවෙ හිටියා නම් මම දැම්මම අයියව හමු වෙන්න එනවා. ගත වෙච්ච අවුරුදු විස්ස ඇතුළෙ වෙච්ච දේවල් බොහොමයි. අයියා ලියා ගන්ඩ මේ එඩ්‍රස් එක. අපේ අම්මව හමු වෙන්න. අයියෙ අයියා අහන දකින දේවල් වලට ෂොක් වෙන්ඩ එපා අයියෙ..මම දන්නවා අයියා කොයි තරම් සෙන්සිටිව්ද කියලා ඒකයි මම මේ අර්ලි වෝනින්ග් එකක් දුන්නෙ.


දැනට කැනඩා රාජ්‍යයේ වෙසෙන බිරිඳගේ සොයුරාගේ මේ හතර බීරී කතාව නිසා මම ඔහු දුන් ලිපිනය සොයා යාමට අභිනවයෙන් පිරූ සින්හල අවුරුදු දිනයන්ද නොසලකා කාලයක් තිස්සේ ගරාජය තුළම පාළුවෙන් ගත කල වාහනය පාරට දැම්මෙමි. පාර පාළුවට ගොස් ඇති අතර ලිපිනයේ වූ ප්‍රදේශය අමාරුවෙන් සොයා ගත් අතර බෝක්කුවක් උඩ රස්තියාදු ගසමින් සිටි තරුණයන් පිරිසකගේ ආධාරයෙන් අදාළ නිවස සොයා ගත්තෙමි.


ඔවුන් සිටියාට වඩා නවීන නිවසක්..නමුත් කිසිවකුත් පෙනෙන්නට නොමැත. වාහනය ගේට්ටුව අසල නවතා එහි වූ සීනුව නාද කළෙමි..
නන්නාදුනන තරුණයෙක් මා දෙස විමසිල්ලෙන් , විමතියෙන් බලා ගේට්ටුව දෙසට පැමිණෙයි.


මහත්තයා කවුද හොයන්නෙ ?


අර මාග්‍රට් වික්‍රමසේකර ලගෙ ගෙදරද මේ ?


මම බිරිඳගේ මවගේ නමින් විමසුවේ බිරිඳ සමහර විට මෙහි නොසිටින්නට වුවද හැකි නිසාය.


ඔව් මහත්තයා. ලොකු නෝනලා ගියා ළමා නිවාසෙට පොඩි බේබිව එක්කන් එන්න. නිවාසෙ අවුරුදු උත්සවේ හින්දා මේ සැරේ පොඩි බේබි අවුරුද්දටවත් ආවෙ නෑ ගෙදර..මට මහත්තයාව දැකලා නම් හොඳට පුරුදුයි වගේ..


මහත්තයා ඉන්නවද නෝනල එනකම් ?


ඔව්


ඉන්න මහත්තයා මම ගේට්ටුව අරින කම්....


මම නිවසේ පෝටිකෝව යට වාහනය නවතා..ගෙවත්තේ වූ එළිමහන් පුටුවක් මත මා ගත වාරු කළෙමි.

.
ළමා නිවාසයක කවුද ඉන්න පොඩි බේබි ??? ..බිරිඳ සහ ඔහුගේ බාල සොයුරා පමණක් වූ නිවසේ බාල සොයුරු තම පවුල සමඟ කැනඩාවෙ පදින්චිව සිටින අතර ඔවුන් හට දරුවන් නොමැත. නිවස හා ගෙවත්ත යම් සුඛෝපභෝගී බවක් ඇත. මල්ලි කැනඩාවෙ කරන රැකියාව සමෘද්ධිමත් එකක් වන්නට ඇත. ඔහු තම මවගේ සුඛ විහරණය සඳහා මුදල් එවා මෙය ගොඩ නගන්නට ඇත.


එසේ නොවන්නට මෙම පවුලට මෙලෙස ගොඩ එන්නට වෙනත් ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබූ බව මට නම් නිසැකය.


නිවස බලා ගැනීමට සිටි තරුණයා සේවකයකු වන්නට ඇත. ඔහු පැමිණි පසු ඔහුගෙන් යම් යම් කරුණු කීපයක් හෝ අනාවරණය කර ගත හැකි වනු නො අනුමානය.


නිවස පිටුපසින් ගිය එම තරුණයා..නිවසේ ඉදිරි පස දොර විවෘත කළේය. විශාල සෙටියක් සහිත සාලය එක් කොනක දැවැන්ත රූපවාහිනියක්ද විශාල කැබිනෙට්ටුවක්ද දර්ශනය වීය. එම කැබිනෙට්ටුව මත යම් අයකුගේ ඡායාරූපයක්ද එය මත රඳවා ඇති මල් මාලාවක්ද මා දෙනෙත ගැටිණි.තරුණයා මගේ විමසිලිමත් දෑස දකින්නට ඇති නිෂාවෙන්දෝ වහා නිවසේ ඉදිරි දොර වසා දමමින් මා වෙත සිනහවක් පාමින් පැමිණියේය.


මහත්තයා මට හොඳට දැකලා පුරුදුයි වගේ..මම කල්පනා කළේ කොහෙන්ද කියලයි. මහත්තයට මොනවා හරි බොන්ඩ ගේන්නද ? කූල් එකක් ?


පෙරදා රාත්‍රියේ ගත් මත්පැන් නිසාමදෝ උගුර කට වේලී ඇත.


ඔව් කූල් එකක් ගේන්න..


ඉදිරිපස දොර විවෘත කරමින් ඔහු මා දෙස හැරී බැලූයෙන් මා හට නැවතත් සාලයේ කැබිනෙට්ටුව මත මල් මාලය දමා තිබූ ඡායාරූපය කාගේදැයි නිශ්චිතව බලා ගැනීමට නොහැකි වීය. චෙහ් ! කණ්ණාඩි කූට්ටම දාගෙන හිටියා නම් පේනවා මීට වඩා..නමුත් හොඳට දැකලා පුරුදු මුහුණක චායවක් බැව් නම් නිසැකය..


සේවක තරුණයා ඉදිරි පස දොරගුල් දමන ශබ්දය ඇසූ මා හට යම් ලැජ්ජාවක් ඇති විණ. මා නිවස වෙතින් දෑස් ඉවතට යොමු කර ගෙවත්ත දෙස හිස් බැල්මක් යෙමුවෙමි..විශාල ගෙවත්ත පිළිවෙළකට මල් සහ ඒළවළු වවා තිබුණි..


// අපේ අම්මව හමු වෙන්න. අයියෙ අයියා අහන දකින දේවල් වලට ෂොක් වෙන්ඩ එපා අයියෙ..මම දන්නවා අයියා කොයි තරම් සෙන්සිටිව්ද කියලා//


මස්සිනා නොකියා කිවූ මේ කථාවෙහි තේරුම කුමක්ද ? කුතුහලය මගේ හිස තුළ කරකැවෙන්නට වූයේ..ආමාශයේ ආම්ලිකතාවයද ඉහළ දමමිනි..
ඉදිරි දොරගුල ඇරෙන ශබ්දය මා සවනත හොඳින් වැටුණද මා එදෙසට හිස නොහැරෙව්වෙමි.


ආ මහත්තයා බොන්න


සිසිල් බීම වීදුරුවක් බන්දේසියක් මත තබා මා වෙත පිළිගැන්වූවේ..බුලත් කට බැඳි මුව මත සිනහවක්ද සමඟිනි.


මට මතකයි මහත්තයා කවුද කියලා..නිරෝමි නෝනා..


නිරෝමි..මගේ බිරිඳගේ නම ඇසෙන විට මා මුවට ගත් සිසිල් බීම රොදක් ස්වාසනාලය තුළට ගොස් කැස්සක් ඇති වීය..


නිරෝමි නෝනා ළඟ තිබුණ ෆොටෝ වලින් මට මහත්තයව පෙන්නලා තියෙනවා


මාගේ කුතුහලය උපරිමයට ළඟා වූයේත්..ගේට්ටුව අසල වූ වාහනයක් හෝන් එක නාද කරන්නට වුයේත් එක් වරමය.


ආ ලොකු නෝනලා ඇවිත්...පොඩ්ඩක් ඉන්න මහත්තයා..මම ගේට්ටුව ඇරලා එන්නම්..


කලබල වූ ඔහු විටෙක නිවසේ දොර වෙත ගොස් එය වසා..නැවතත් වෙන යමක් සිහිවූ කලක මෙන් දොර විවෘත කර ආපසු ගේට්ටුව දෙසට දුව ගියේය. විවෘත වුණු ගේට්ටුව තුළින් පෝටිකෝව දෙසට හැරවුණු සුඛෝපභෝගී වාහනය මාගේ වාහනය නවතා ඇති බැවින් ගෙවත්තේ වෙනත් පැත්තකට හැරවූවේය.


මා යමක් ක්ෂණිකව සිහිපත් වූයෙන් දෙනෙත වහා නිවසේ විවෘත වූ දොර දෙසට යොමු කළේ සාක්කුවේ රැඳි..කණ්ණාඩි කූට්ටම අතට ගනිමිනි.
පැමිණි වාහනයේ දොර හැරෙනවාත්... කීප දෙනෙක් එයින් පිටතට පැමිණෙන ශබ්දය ඔවුන්ගේ කථාවෙන් මගේ සවනත වැටුණේත්..උපැස් යුවළ රැඳි මා දෙනෙත සාලය දෙස යොමු උණේත් එකම විටය. දෑසේ එක් කොනකින් යම් දැරිවියක් මා හිඳගෙන සිටින දෙසට එනවා දුටුවත් මා සිත හා අවධානය දැඩිව බැඳුණේ සාලයේ කැබිනෙට්ටුව මත තබා ඇති ඡායාරූපය දෙසය.. අවසන මා දෙනෙත එම ඡායාරූපය සොයා ගෙන සිත හා අවධානය නාභිගත වන්නේත්..මාගේ පැත්තකින් සිටගෙන මා දෙස විමසිල්ලෙන් බලා සිටින ළදැරිය තම දෑස ඔසවා යම් චලනයක් කරන්නේත් එකම විටය..


දෙවියනේ...!!!!


හිසමුදුනින් නැඟි හිරියක් මගේ දෙපතුල දක්වාම ක්ෂණයකින් ඇදී ගියේ මා ගත පණ නැති කරමිනි..


තාත්තේ...


දෙපා වාරු නැතිවී ගොස් අසල වූ සිමෙන්ති පුටුවේ ගරාදිය මත මා අත තබනවාවත් සමඟම මා දෙසවන වැටුණු ඒ කටහඬත් සමඟම මා දෑස මා දෙස බලා හුන් බව ඇස් අගින් පෙනුණු ළදැරිය වෙත යොමු කළෙමි..
කිසිදා මා දෙනෙතට හසු නොවූ කටහඬ කිසිදා දෙසවන නොගැටුනු..ළදැරියක් මා දෙස ඈගේ දෑත විදහා මා අඳුරා ගත් විලාසයක් පෙන්නුම් කරන්නීය.


තාත්තේ...මගේ සුදු තාත්තා මාව බලන්ඩ ඇවිල්ලා...


මා තුෂ්ණිම්භූත කරමින් ඈ විදහා ගත් දෑතින් මා වෙත දිව විත් මාගේ ඉණ බදා ගත්තේ..මහත් වූ ප්‍රීතියකින්ය..


දෙවියනේ ඈගේ දෑස !


වරක් නොව දෙතුන් වාරයක්ම මා සියොළඟ හිරිවැටී ගියේ මා අසළවූ පුටුව මත ඇද වැටුණේ..ළදැරියගේ වැළඳගැනීමටත් වඩා මේ සිදුවන සියල්ල මාගේ දුර්වල ස්නායු පද්ධතියට තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසාය..


මතු සම්බන්ධයි...

Saturday, April 9, 2016

මැදියමට ආසන්නව..ජීවිත යථාර්තය


දැන් අපි වහන වෙලාව හරි සර් යන්ඩ...

මට තව හ් එක්ක ශොට් එකක් ඕනි...

මේ ඔය මිනිහගෙ ෆෝන් එකේ ඇති අර ත්‍රීවීල් කාරයගෙ නම්බර් එක ඒකට කෝල් එකක් දීපන්.. 


මට තව එක්කක්...


සර් සර් අපි යමු..නගින්ඩ වීල් එකට..මම ගෙදර ගිහින් බස්සන්නම්...හා යමු...යමු...


මට තව එක්කම එකක්..


හරි සර් යන ගමන් මම අරගෙන දෙන්නම්..

ඇයි සර් ඕම බොන්නෙ..හැමදාම..ප්‍රශ්ණ විසඳෙන්න බොනවා නම්..බිව්වහම විසඳෙන ප්‍රශ්ණයක් නෑ සර්..අපි පැහිලා නෑ..සර්ට ඇඩ්වයිස් දෙන්න..ඒත් විනාශ වෙන්නෙ සර් ගෙ ජීවිතේනෙ..

මට ඇති ප්‍රෂ්නයක් නෑ මල්ල්ලිහ්..මට ඇති ප්‍රෂ්නයක් නෑහ්..මට තව එකක්..


ඇයි සර් එහෙනම් මෙහෙම ජීවිතේ විනාශ කර ගන්නෙ


මට විනාෂ වෙන්ඩ ජීවිතයක් නෑ..ඒක විනාෂ කර ගෙන අර පට්ට වේෂි ගියේ..මගෙ ලමයි දෙන්නත් මරා ගෙන.


ඉතින් සර් මැඩම් ගියේ ඇයි ? ඊට පස්සෙ සර් හොයන්ඩ ගියේ නැද්ද ? 


මම්හ්...මොක්කටද ඔය පට්ට වේෂි හොයා ගෙන යන්නෙ ? ඩිවෝස් කරලා දැම්මා...මම දැන් නිදහෂ් ගොයියෙක්..හැක්...හැක්..


මට තව ශොට් එකක්..


හා ඉන්ඩ සර් මම අර ගෙන එන්නම්..


තමුෂෙ බොරුව දාන්නෙ..මේ වෙලාවෙ කොහෙද ඕයි බාර් ඇරලා..


හරි හරි සර් ඉන්ඩකෝ..


මේ තමුෂෙ දන්නවද අද මට බස් එකේ හම්බුනානෙ..අරූ


කවුද සර් අරූ කියන්නෙ ?


අරූ..අර වේෂිගෙ පුතා..මගේ ගෑනි මගෙ එක මදි කියලා පැනලා ගිය වේෂ්ෂිගෙ පුතා


ඉතින් මැඩමුත් හිටියද ඌ එක්ක..ඒකනෙ සර් අද වැඩියෙන් බීලා


මොන මැඩමෙක්ද ඕයි ? ඌ එක්ක හිටියෙ වෙන එකියෙක්..ඒ කියන්නෙ..හොඳ වැඩේ ඒකිට..මට දීපු දුක...මයෙ ළමයි දෙන්නවත් මරා ගෙන..මට දීපු දුක...


ආ එන්ඩ සර්..ඔන්න ගෙදරටම ආවා..කෝ ඔය යතුර දෙන්ඩ..


ආ පර්ස් එක..මල්ලිගෙ  ත්‍රී වීල් එකේ ගාන ගන්ඩ..


එපා සර් සර් හොඳ සිගියෙන් ඉන්න වෙලාවට ගන්නම්..කෝ එන්ඩ..එන්ඩ මම ගත්ත මේ ඉඳියාප්ප ටික කන්ඩ සර්..මම ඉන්නම් සර් කන කම්..


පොඩ්ඩක් ඉන්නවාකො...මම මේ මගෙ කතාව මේකෙ ලියලා දාලා එනකන්..


එහෙනම් සර් ඕක ලියන්ඩ..මම යන්නම්..


සර් කන්නෙ නැතුව නිදා ගන්ඩ නම් එපා..බීලා කන්ඩ ඕනි හොඳට..


මේ මල්ලිහ්..පොඩ්ඩක් ඉන්නවකො..මේ ෆෝන් එකේ ඇති..ඉනෝකා කියලා නම්බර් එකක්..ඒකට කතා කරලා අහනවාකො..මගෙ ගෑණිගෙ සැප දුක...අර මිනිහා  ගෑණිව දමලා ගිහිල්ලා..කොහේ ඉන්නවද දන්නෙ නෑ..ඒ ගෑණි කෑවද බිව්වද දන්නෙත් නෑ ඕයි...
කතා කලේ මම කියලා කියන්ඩ එපා..පට්ට වේෂිගෙ මෝල් අමාරුව සනීප වෙලා..නම් ඒ ඇති මට..එන්ඩ කියනවා මල්ලි ඒ ගෑණිට ආයි ..මට ඒ ගෑණිව ඕනි නෑ..ඒත් මට බෑ..දවෂකට හරි හරි ආදරේ කරපු එකීයෙක් අමාරුවෙ වැටිලා ඉන්නවා දකින්ඩ...


උම්බලා පොඩි උන්...ආදරේ ගැන දන්න මඟුලක් නෑහ්...

සැදෑ සමය ද ?

නිවසින් එළියට බැස්සෙ යන්නෙ කොහෙද...ගිහින් කරන්නෙ මොනවද කියන එක ගැන කිසිම අරමුණකින් නෙවෙයි ...ජීවිතය ටත් නැති අරමුණ ක් මේ වගේ සැදෑ වක එළියට බහින මට තියෙයිද ?

හිරුත් දවසේ මෙහෙය අවසන් කරලා මුහුදෙ ගිලෙන්නට මොහොතයි..ජීවිතයත් හෙමි හෙමින් මෙහෙය අවසන් කරලා කොයි මොහොතේ මුහුදෙ ගිලෙයිද මන්දා.. හිරු නම් ආයිමත් හෙට උදේ..ආයිමත් හෙට උදේ..නැවත නැවතත් දවසේ මෙහෙය එන එක නිසැකයි..දිවිය අවසන නැවතත් ඒමක් තිබෙනවා කියන්න පුළුවන් නම් කාටද ?

බස් රථයේදී දුටු දසුනින් සිත මේ තරම් නම් කැළඹේයැයි මා කිසිවිටෙකත් සිතුවේ නැත..පෙර යම් දිනයක මගේ දිවියට පැමිණි කුණාටුවක් වන් ඔහු..මගේ ප්‍රිය බිරිය සමග සැගවී ගියේ කොයිබටදැයි මම නොදනී..

"
අපේ දරුවො ගැන හිතලවත් ඔය සම්බන්ධය නවත්තන්න

දරුවන්ගෙ අනාගතය ගැන හිතන්න

මගේ අවවාද වලට කන් නොදුන් ඇය...

"
මම බලා ගන්නම් උන් දෙන්නගෙ අනාගතය "

ජීවිතයේ එකම එක දෙයක් මුළු දිවියම කර ගත් ඇගේ පෙර දිනයක කර්කශ වචන දශක දෙක හමාරක් තිස්සෙම සවනත දැවටෙන්නේ ඊයේ සිදුවීමක් ලෙසය.

"
උන් දෙන්නා වැවේ ගිලුණා නෙවෙයි උඹ උන් දෙන්නව මරා ගත්තා "දහස් වර මා සිතින් මිමිනුවද එය වදන් වලට පෙරලූයේ නැත...

"
මල්ලි ඔය ගෑනිගෙ නාඩගම් අපි නම් දැනන් හිටියා..මල්ලිගෙ හිත රිදෙන නිසා කිව්වෙ නැහැ. නැතිනම් ළමයි දෙන්නා මැරිලා මාස තුනක් යන්ඩ ඉස්සෙල්ලා තව මිනිහෙක් එක්ක යයිද ? "

"
මල්ලි අපි කීප තැනක් බැලුවා..ඔහොම ඉන්ඩ බෑනෙ මල්ලිට"

දික්කසාද යෙන් පසු අක්කා දහස් වර මෙම වදන් පෙළ මගේ සවනත යොමු කරන්නට ඇත..හැම එකාම ඔහොමයි...තව එකත් ඔහොමයි..

එදා මගේ දිවියම උඩුයටිකුරු කල තරුණයා අද මැදිවියේය..නමුත් ඔහුට තුරුලුව සිටින්නේ අනිකෙකි...එතකොට ?????

මදින් මද අන්ධකාරය මෝදු වේ..

මා මෙතනින් නැගී සිටිය යුතුය..

"
මහත්තයා ඔහොම බොන්නෙ ප්‍රශ්න වලට උත්තර හොයන්ඩ නම්..අනේ මන්දා මහත්තයා උපදෙස් දෙන්න තරම් අපි පැහිලා නෑ.."

සැමදා මැදියමේ මා නිවසට ගෙනයන ත්‍රීරෝද රියදුරු ගේ වදන් මගෙ දෙසවන දෝන්කාර දේ..

මිනිසා කෘතීමව සැකසූ විලේ මැද ගොඩැල්ලේ තනිවූ ගස අදුරේ මා දෙස දුකින් බලා සිටිතැයි මට සිතේ..

අතරමගදි ලියන බ්ලොග්

එක තැනකට වෙලා..බොහොම සීරු මාරුවට ඉදගෙන ලියවෙච්ච , ලියන්ඩ බලාපොරොත්තු වෙච්ච බ්ලොග් එක කනෙන් අල්ලලා පාරට ඇදලා දාන්ඩයි හැදුවෙ..